යාපනය අර්ධද්වීපයේ මෙතෙක් පැවති පානීය ජල ගැටලුවට ස්ථිර විසඳුම් ලැබෙන යාපනය නගර ජල නළ පද්ධතිය හා තාලෛයඩි මුහුදු ජල පවිත්‍රාගාරයේ ඉදිරකිරීම් ඊයේ (06 දා) අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ආරම්භ කළේය.

නාගදීප ජල පවිත්‍රාගාරය ජනතා අයිතියට පත්කරමින් නාගදීපයේ පැවති උත්සව අවස්ථාවට අරලියගහ මන්දිරයේ සිට සජීවීව එක්වූ අග්‍රාමාත්‍යවරයා ඔන්ලයින් ක්‍රමයට තාලෛයඩි මුහුදු ජල පවිත්‍රාගාරයේ ඉදිකිරීම් හා යාපනය නාගරික ජල සම්පාදන ජල නළ පද්ධති ඇතිරීමේ කටයුතු ආරම්භ කළේය.

යාපනය කිළිනොච්චි ජල සම්පාදන ව්‍යාපෘතිය ඔස්සේ ග්‍රාම නිළධාරී කොට්ඨාශ 186 කට ආරක්ෂිත නළ ජලය සැපයීමට අපේක්ෂා කරන අතර මධ්‍යම රජයේ මුදල් සහ ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ආධාර යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

තාලෛයඩි මුහුදු ජල පවිත්‍රාගාරය ඔස්සේ අධි තාක්ෂණික ජල පිරිපහදු ක්‍රමය යටතේ මුහුදු ජලය ආරක්ෂිත පානීය ජලය බවට පත්කිරීමට සැලසුම් කර තිබේ. එම ව්‍යාපෘතිය සහ යාපනය නාගරික ජල සම්පාදන ආරක්ෂිත ජල නළ පද්ධති ඇතිරීම මඟින් ලක්ෂ තුනක ජනතාවට සෙත සැලසෙන අතර, එය 2023 වසර වනවිට අවසන් කිරීමට නියමිතව ඇත.

යාපනය නගරය සහ ඒ අවට පවුල් එක් ලක්ෂ දොළොස් දහසකට පමණ නළ මඟින් ආරක්ෂිත පානීය ජලය ලබාගැනීමේ අවස්ථාව නව ව්‍යාපෘතිය ඔස්සේ හිමිවීම විශේෂත්වයකි.

ජනතා අයිතියට පත් කළ නාගදීප මුහුදු ජල පවිත්‍රාගාරය ඔස්සේ නාගදීප, අනලතිව්, එලුවතිව් දූපත් සඳහා ජලය බෙදා හැරීම් විධිමත් වන අතර, මේ තුලින් පවුල් 5,000 කට ඍජුව ප්‍රතිලාභ සැලසෙයි.

ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ ජනරාල් කෙන්චි යොකොහාමා මහතා සූම් තාක්ෂණය ඔස්සේ මෙම උත්සව සභාව ඇමතු අතර දැනට ක්‍රියාත්මක ජල ව්‍යාපෘතීන් හී සාර්ථකත්වය පිළිබඳව එතුමාගේ සුබ පැතුම් එක් කළේය. ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මැතිතුමන් අදහස් දක්වමින් අපගේ ලොකුම සිහිනයක්ව පැවතියේ උතුරේ පානීය ජල ප්‍රශ්ණය විසඳාලීමයි. එය අපගේ රජයක් තුළින් මා හට සාර්ථකව ඉෂ්ඨ සිද්ධ කර ගැනීමට හැකිවීම විශාල ජයග්‍රහණයක් බවද කියා සිටියේය. ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මැතිතුමා සහ ජල සම්පාදන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතා මෙහිදී අදහස් දැක්වීය. අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දුවික්‍රම, ජල සම්පාදන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී - තිළිණ විජේතුංග, ගරු අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් සරත් රණසිංහ යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගී වීය.

නාගදීප ජලපවිත්‍රාගාරය විවෘත කිරීමේ අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාර චාල්ස් මැතිණිය, පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත යන මැති ඇමතිවරුන් සහභාගී විය.   

උතුරු පළාත තුළ දැනට පවතින 9.6% ක් වන ආරක්ෂිත පානීය නළ ජල සැපයුම 2025 වසර වන විට සීයයට සීයයකින් ඉහළ නැංවීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සැලසුම් කර තිබේ.  

මහේන්ද්‍ර හරිස්චන්ද්‍ර

අධ්‍යක්ෂ (මාධ්‍ය)

ජල සම්පාදන අමාත්‍යාංශය

0716845668