බලංගොඩ පඹහින්න ප්‍රදේශයේ නිවසක වැඩිහිටි කාන්තාවක් ග්‍රහණයට නතු කර ගෙන ඇය සතු ලක්ෂ 11ක් පමණ වටිනා රන් භාණ්ඩ පැහැරගත් සොරුන් කණ්ඩායමක් සමනල වැව පොලීසිය මගින් පසුගියදා  අත්අඩංගුවට ගෙන ඇත. මෙම සොර කල්ලියේ එක් සමාජිකයෙකු වන්නේ ජල මනු කියවන්නෙකි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ජල සම්පාදන අමාත්‍යාංශයේ මාධ්‍ය අධක්ෂක වරයා දන්වා සිටින්නේ,

මෙම සිද්ධියට සම්බන්ධ ජල මනු කියවන්නා ජල සම්පාදන අමාත්‍යාංශයට අයත්, ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට හෝ  ප්‍රජා ජල දෙපාර්තමේන්තුවට අනුයුක්තව සේවය කරනු ලබන ජල මනු කියවන්නෙකු නොවන බවයි.

 

මොහු බලංගොඩ, ඉඹුල්පේ ප්‍රාදේශීය සභාව මගින් එම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට ජලය ලබා දීම උදෙසා ක්‍රියාත්මක කරනු ලබන කුඩා ග්‍රාමීය ජල යෝජනා ක්‍රමයක ජල මීටර කියවීම සඳහා යොදවා ඇති ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ සේවකයෙකි.

 

ශ්‍රී ලංකාව පුරා ජල සම්පාදන මණ්ඩලයට අනුයුක්ත ජල මනු කියවන්නන් සිය ගණනක් සේවයේ නිරතව සිටින අතර මෙම ප්‍රවෘත්තිය හේතුවෙන් නිවෙස් ගානේ ගොස් සිය රාජකාරි කටයුතු කරන ජල සම්පාදන මණ්ඩලයට අයත් සමහර මනු කියවන්නන් දැඩි අපහසුතාවයකට පත්ව ඇත.

 

වසර ගණනාවක් පුරාවට ලක්ෂ සංඛ්‍යාත ජල පාරිභෝගික ජනතාව වෙනුවෙන් තම රාජකාරිය නිවැරදිව, වගකීමෙන් යුක්තව ඉටු කරනු ලබන ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ජල මීටර කියවනු ලබන නිලධාරීන් (මනු කියවන්නන්) රජයට අයත් ව්‍යවස්ථාපිත මණ්ඩලයක ස්ථිර සේවකයන් වන අතර ඔවුන් ඉතා වගකීමෙන් යුක්තව තම රාජකාරියේ නිරත වන බව, මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී තිළිණ විජේතුංග මහතා පවසයි.

 

මහේන්ද්‍ර හරිස්චන්ද්‍ර,

මාධ්‍ය අධ්‍යක්ෂ,

ජල සම්පාදන අමාත්‍යාංශය.

0716845668