වව්නියා දිස්ත්‍රික් ජල යෝජනා ක්‍රමය ආරම්භ කරමින් ඇමති වාසුදේව කියයි.

වව්නියාව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකකට අයත් වව්නියාව නගරය සහ වව්නියාව දකුණ කොට්ඨාශයට අයත් ග්‍රාම නිළධාරී වසම් තුනක් වන කාර්තාසින්නකුලම්, මහරම්භකුලම් සහ මාමඩුව යන ප්‍රදේශ වලට පානීය නල ජල එළීම ආරම්භ කරනවා. පයිප්ප එළීම පටන් ගන්නවා. මේ සඳහා රුපියල් මිලියන 46.24 ක් වැය කරනවා. මෙහිදී කීලෝමීටර් 8.7 ක දුරක් සඳහා නල එළීම සහ නව සම්බන්ධතා ලබාදීම මේ යටතේ සිදුකරනු ලබන බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කියා සිටියි.

වව්නියාව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකක් සඳහා පානීය නල ජලය බෙදාහැරීම වෙනුවෙන් සිදුකරනු ලබන ජල නල එළීමේ ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාවට එක් වෙමින් අමාත්‍යතුමා මෙම අදහස් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ වාසුදේව නානායක්කාර අමාත්‍යතුමා,

මෙම වව්නියාව ජල යෝජනා ක්‍රමය සඳහා ජල මුලාශ්‍රය වන්නේ සේරාරුම් ජලාශයයි. එම ජලාශය වෙන් කරලා තියෙනවා වව්නියාවට පානීය ජලය සපයන්න. වව්නියාවට අවශ්‍ය ජලය සැපයීම සඳහා අවශ්‍ය ජල මුලාශ්‍ර ප්‍රමාණවත් බව අපට පැහැදිලියි. ඒ අනුව නල එළා සෑම ප්‍රදේශයකටම ජලය ලබාදීම අපගේ වැඩපිළිවෙලයි. ඒ සඳහායි අප මේ කටයුතු කරගෙන යනු ලබන්නේ. මේ ආකාරයෙන් අපි අවුරුදු පතා විශාල මුදලක් වැයකරමින් එයින් සැළකිය යුතු කොටසක් අයවැයෙන් ජලය සඳහා වෙන්කරමින් අපේ ජල සම්පාදන අමාත්‍යාංශය වැඩ කරගෙන යනවා. එයින් උතුරු පළාතටත් වව්නියාව ප්‍රදේශයටත් පානීය ජලය ලබාදීමට අපි කටයුතු කරනවා. අපේ අරමුණ ඉලක්කය උතුරු පළාතේ පානීය ජල ගැටළුව හැකි ඉක්මණින් විසඳාලීමයි.

ජලය පිළිබඳ ප්‍රශ්ණය රටවල් ප්‍රදේශ අතර යුද්ධයන්ට පවා හේතු වෙලා තියෙනවා. ජලය පිළිබඳ ප්‍රශ්ණය නිසා අදත් ඉන්දියාවේ ප්‍රධාන ප්‍රාන්ත දෙකක් අතර ගැටුමක් පවතිනවා. කර්ණාටක ප්‍රාන්තය සහ තමිල්නාඩු ප්‍රාන්තය අතර. අපට මේ රටේ වාසානාවක් තියෙනවා. අපිට ජලය ඉන්දියාවට වඩා බහුලව තිබෙනවා. අපිට විල් තියෙනවා. ඒ වගේම වැව් තියෙනවා. විශාල ජලාශ තිබෙනවා. අපිට තියෙනවා කුඩා ජල පහරවල් රටේ හැම පැත්තකින්ම පහළට ගලා යන මහ ගංඟාවල් හැදෙන. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ වව්නියාවේ මේ ජලය ඔය සේරාරුම් ජලාශයෙන් ගන්න. ජලය මුළු වව්නියාවේ සෑම ප්‍රදේශයකටම ගලා යන පරිදි නල මාර්ගයෙන් ලැබීමට සලස්වන්න.

“සෑම ගෙදරකටම ජලය” මේ තමයි අපේ පොරොන්දුව. ලබන 2025 වර්ෂයට කලින් අපේ රජයේ කාලය නිමා වන්නට ප්‍රථම, සෑම නිවසකටම ජල නල මඟින් පිරිසිදු පානීය ජලය ලබාදීමට අපි කටයුතු කරනවා. ඒ තමයි අපේ ප්‍රතිඥාව. මේ ආණ්ඩුව ක්‍රියාකරන්නේ එම ප්‍රතිඥාව ඉදිරියේ තබාගෙනයි.

මෙම ප්‍රදේශ ආශ්‍රිතව සනීපාරක්ෂක වැසිකිළි වල ගැටළුවකුත් පවතිනවා. ඉදිරි කාලය තුලදී ඒ සඳහා ද විසඳුම් ලබාදීමට අපගේ අමාත්‍යාංශය කටයුතු කරනු ලබනවා. සනීපාරක්ෂක වැසිකිළි නැති නිවාස වලට නිසි ප්‍රමිතීන්ට අනුකූලව වැසිකිළි ලබාදීමට අපි කටයුතු කරනවා. අපිට මෙහිදී ජනවාර්ගික ප්‍රශ්ණයක් නෑ. අපිට මෙහිදී සියලුම ජනයා මනුෂ්‍යයන්. ඒ නිසා අපේ පරමාර්ථය මේ රටේ සියලුම ජනයාට කිසිම භේදයකින් තොරව පිරිසිදු පානීය ජලය සැපයිමයි. මං විශ්වාස කරනවා අපට මෙය ඉටුකරගත හැකි බව යැයි ද ජල සම්පාදන අමාත්‍යතුමා වැඩිදුරටත් පැවසීය.

මේ අවස්ථාවට වව්නියාව දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපති පාර්ලි‍මේන්තු මන්ත්‍රී කුලසිංගම් දිලීබන් මහතා සහ ජල සම්පාදන අමාත්‍යතුමාගේ වන්නි දිස්ත්‍රික් සම්බන්ධිකාරක වී. සංකරලිංගම් මහතා ඇතුලු පළාත් පාලන නියෝජිතයින් රැසක් ද සහභාගී විය.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ වව්නියා දිස්ත්‍රික් කාර්යාලය මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.Click here for Video .....