Click here for vedio .....
දිවයිනේ දැවැන්තම ජල සම්පාදන යෝජනා ක්‍රමයක් වන විසල් මාතලේ ජල සම්පාදන යෝජනා ක්‍රමය ජූලි මස 28 වනදා පස්වරුවේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් අතින් ජනතා අයිතියට පත් කිරීමට කටයුතු කර ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දන්වා සිටි.

රුපියල් මිලියන 31,000 ක් (රු.මි. තිස්එක් දහසක්) වැය කර සම්පූර්ණ කර ඇති මෙම විසල් මාතලේ ජල සම්පාදන යෝජනා ක්‍රමය යටතේ නව ජල සම්බන්ධතා 90,000 ක් පමණ ලබාදීමට හැකියාව ඇති අතර මේ තුලින් පිරිසිදු පානීය ජලය ලබාගන්නා සමස්ථ පවුල් සංඛ්‍යාව තුන්ලක්ෂ පනස් දහස ඉක්මවයි.

පිරිසිදු පානීය ජලය ලබාගැනීමට නොහැකිව දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටි මාතලේ රත්තොට, යටවත්ත, උකුවෙල, පල්ලේපොල, අඹන්ගඟ කෝරළය සහ නාවුල යන ප්‍රදේශයන්හි ජීවත් වන ජනතාවට මෙයින් විශේෂ සහනයක් හිමිවේ.

අද දින (ජූලි 28) ජනතා අයිතියට පත් කරන විසල් මාතලේ ජල සම්පාදන යෝජනා ක්‍රමය යටතේ අඹන්ගඟ, උකුවෙල සහ උඩතැන්න යන ජල ව්‍යාපෘති 03 ක් විවෘත කෙරේ.


Click here for Ambanganga Video .....

Click here for Ukuwela Video ..........

Click here for Udethenna Video .....

රුපියල් මිලියන 5,440 කින් ඉදිකරන ලද අඹන්ගඟ ජල සම්පාදන ව්‍යාපෘතිය මඟින් නව ජල සම්බන්ධතා 20,000 ක් (විසිදහසක්) ලබාදීමට කටයුතු කරන අතර මේ තුලින් පිරිසිදු පානීය ජලය ලබාගන්නා ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව 76,740 කි. පල්ලේපොල, යටවත්ත, නාවුල, මාතලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මේ තුලින් ආවරණය වන අතර මෙයට ඇතුලත් වන ග්‍රාම නිළධාරී වසම් සංඛ්‍යාව 115 කි. රජ්ජම්මන, වල්මෝරුව, මහවෙල කන්ද යන ප්‍රදේශයන්හි ඉහල ජල ධාරිතාවයකින් යුතු ජල ටැංකි 03 ක් ඉදිවන අතර දිනකට ජලය ඝන මීටර 18,000 ක පමණ ධාරිතාවයකින් යුක්තව ජලය සැපයීමට අපේක්ෂා කෙරේ.

උකුවෙල ජල සම්පාදන ව්‍යාපෘතිය ද විසල් මාතලේ ජල යෝජනා ක්‍රමයට ඇතුලත් තවත් ව්‍යාපෘතියකි. රුපියල් මිලියන 3,150 ක වියදමකින් ඉදිවන මෙම ව්‍යාපෘතිය මඟින් නව ජල සම්බන්ධතා 8,000 ක් පමණ ලබාදෙන අතර ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව 31,908 කි. උකුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිළධාරී වසම් 22 ක ජනතාව සඳහා මේ යටතේ පානීය ජල පහසුකම් හිමිවේ.  

විසල් මාතලේ ජල සම්පාදන යෝජනා ක්‍රමය යටතේ විවෘත වන අවසන් ජල සම්පාදන ව්‍යාපෘතිය උඩතැන්නයි. මේ මඟින් 47,918 පමණ ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාවකට සෙත සැලසෙන පරිදි නව ජල සම්බන්ධතා 12,000 ක් ලබාදීමට කටයුතු කර ඇති අතර උකුවෙල සහ රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි ග්‍රාම නිළධාරී වසම් 37 ක් මෙයින් ආවරණය වේ. උඩතැන්න සහ පන්සල් තැන්න ප්‍රදේශයන්හි ඉදිවන ඝන අඩි 1,090 ක සහ ඝන අඩි 800 ක ධාරිතාවයකින් යුක්ත ජල ටැංකි දෙකක් ඉදිකරන අතර මේ සඳහා වැය වන සම්පූර්ණ මුදල රුපියල් මිලියන 3,250 කි.

වර්තමාන ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරන අවස්ථාවේ දී ආරම්භ කරන ලද මෙම විසල් මාතලේ ජල සම්පාදන යෝජනා ක්‍රමය ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා විසින් වඩා වැඩි ප්‍රමුඛතාවයක් ලබාදී නිමාවට පත්කර ඇත.

මෙම සියළු ජල සම්පාදන ව්‍යාපෘතීන් ඉදිකර අවසන් වූ පසුව මාතලේ දිස්ත්‍රික්කයේ පිරිසිදු පානීය ජල ආවරණය 30% සිට 90% දක්වා වැඩිකිරීමට හැකියාව ලැබෙන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කියා සිටි.

මෙම ජල සම්පාදන යෝජනා ක්‍රමය යටතේ ලග්ගල සහ විල්ගමුව ජල සම්පාදන යෝජනා ක්‍රම දැනට ඉදිවෙමින් පවතින අතර මෙම වසර අවසානයේ දී එම යෝජනා ක්‍රම ද ජනතා අයිතියට පැවරීමට බලාපොරොත්තු වේ.