පානීය ජලය සැපයීමේ දී අප විසින් වඩාත් ප්‍රමුඛතාවයක් දැක්විය යුත්තේ සෞඛ්‍ය ආරක්ෂිතව පිරිසිදු පානීය ජලය අඛණ්ඩව සැපයීමටයි.

විශේෂයෙන්ම රට තුල පවතින වර්තමාන තත්ත්වය අනුව අප මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර පිරිපහදු යන්ත්‍ර වැඩි වශයෙන් නිෂ්පාදනය කිරීමට කටයුතු කරගෙන යන බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

මාධ්‍යවේදීයෙකුගේ විමසුමකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යතුමා මෙම අදහස් පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යතුමා,

රටට අවශ්‍ය කරන සියළු පිරිපහදු යන්ත්‍ර දේශීයව කොළොන්නාව රජයේ කර්මාන්ත ශාලාවෙන් නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු අප විසින් මේ වන විට ආරම්භ කොට තිබෙනවා. අපි විදේශීය අරමුදල් මත යැපීම ක්‍රම ක්‍රමයෙන් අඩුකිරීමට කටයුතු කරගෙන යනවා. දැනට ආරම්භ කර ඇති ව්‍යාපෘති සම්බන්ධයෙන් මේ අවස්ථාවේ විශාල වෙනසක් සිදුකිරීමට නොහැකි වෙනවා. නමුත් ඉදිරි කාලයේ දී අපට පුළුවන් ඒවා අවලංගු කරලා හරි දේශීය අරමුදල් වලට හරවනවා. හේතුව අපිට ඩොලර් වලින් ණය ගෙවීම අමාරුයි. අපිට රුපියල් වලින් ණය ගෙවීම ලෙහෙසි. එය මේ රටටත් හොඳයි. අපේ ආර්ථිකයටත් ශක්තියක්.

ඉදිරි සියළු කොන්ත්‍රාත් දේශීය කොන්ත්‍රාත්කරුවන් මඟින්ම ඉටුකර ගැනීම අපගේ අරමුණයි. විවිධ වූ ජල යෝජනා ක්‍රම, ව්‍යාපෘති සම්බන්ධව අදාල වන සැලැස්ම ජල සම්පාදන මණ්ඩලයේ අපේම ඉංජිනේරුවරුන් විසින් සකස් කිරීමෙන් අනතුරුව ඒවා ක්‍රියාත්මක කිරීම දේශීය කොන්ත්‍රාත්කරුවන් මඟින් සිදුකිරීමට සියළු වැඩපිළිවෙල සකස් කර දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. මෙම දේශීය කොන්ත්‍රාත්කරුවන් සඳහා අපගේ බලාපොරොත්තුව නල එලීම, පිරිපහදු පිහිටුවීම, ජලය ලබාගැනීමේ ස්ථාන ඉදිකිරීම ආදී සියළු කටයුතු ඔවුන් මඟින් සිදුකිරීමයි.

මෙහි විශේෂත්වය වන්නේ ග්‍රාමීය මට්ටමින් මේ සඳහා අවශ්‍ය සේවක පිරිස්, කම්කරුවන් දේශීය කොන්ත්‍රාත්කරුවන් විසින් ඒ ඒ ප්‍රදේශයන් තුලින්ම සොයා ගැනීම නිසා මෙම මුදල් ගම තුලම අපගේ ශ්‍රී ලාංකීක ශ්‍රමිකයන් අතරේ බෙදී යාමත් රටට විශාල වාසියක් වන බවද අමාත්‍යතුමා මෙහිදී පෙන්වා දුන්නේය.