COVID 19 වසංගතය හේතුවෙන් රජයේ රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය කරන සියලු උපාංගයන් සහිත වූ ඇඳන් 325 ක් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සේවක පරිත්‍යාගයෙන් ලබා දීම ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ සහ ග්‍රාමීය හා ප්‍රාදේශීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (ජුනි 16) ජල සම්පාදන මණ්ඩලයේ රත්මලාන පොල්වත්ත මධ්‍යම යන්ත්‍රාගාර පරිශ්‍රෙය්දී සිදු කෙරුණි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා.

මෙම වසංගත තත්වයේ අසිරු අවස්ථාවකට අප පැමිණ තිබෙනවා. මේ වන විට රටේ විශාල වශයෙන් රෝගීන් වැඩිවෙමින් තිබෙනවා. හැමදේකම අවශ්‍යතාවය දැන් වැඩියි. ආසාදිතයන්ගේ සංඛ්‍යාව වේගයෙන් වැඩිවෙමින් පවතිනවා. මෙහිදී රෝහල් වල ඉඩ අවකාශ වැඩි වැඩියෙන් අවශ්‍ය වෙමින් තිබෙනවා. ආයතන රෝහල් බවට හරවා ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත්කර තිබෙනවා. ඒ තැන්වලට ඊළඟට අවශ්‍ය වෙන්නේ ඖෂධ හා ඇඳන්.  ඒ සඳහා ඇඳන් 325 ක් සාදා දීමට ජල සම්පාදන මණ්ඩලයේ කාර්යය මණ්ඩල සේවක සහෝදරවරුන් හා නිලධාරීන්ගේ දිනක වැටුප පරිත්‍යාග කරමින් දායකත්වය ලබා දීම උතුම් ක්‍රියාවක්.

අද මුළු රටේ ජනතාව එක සිතින් මෙම අභියෝගයට මුහුණ දෙන වෙලාවක අවශ්‍යතාවයට උරදෙන්න ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන් හා සේවක මහතුන් මේ මහා සත්කාරය සිදු කිරීම ජල සම්පාදන මණ්ඩලයට ලොකු ගෞරවයක්. රටේ තියෙන අවශ්‍යතාවය සඳහා ලබා දුන්නු විශාල දායකත්වයක් ලෙසද  ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මෙම වැඩසටහන අගය කරමින් ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා .

පුත්තලම දිස්ත්‍රික්කයේ තිබෙන අති දුෂ්කරම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මහකුඹුක්කඩවල. කොතෙකුත් ආර්ථික දුෂ්කරතාවයන් තිබුණත් මහකුඹුක්කඩවල තරුණයන්ද ඇඳන් ටිකක් හැදුවා. මේ අපි  සියලු දෙනා ඒකරාශි වෙලා කරපු වැඩපිළිවලේ එක අංගයක් තමයි අද මේ ක්‍රියාත්මක වන්නේ. අපේ ඇඳන් 325 හැර ඇඳන් 16000 ක් මේ වනවිට දිවයින පුරා සදා නිමකර තිබෙනවා. ඇඳන් 1000ක් සෑදීමටයි අපි බලාපොරොත්තු වුණේ. දැනට ඇඳන් අතිරික්ත ප්‍රමාණයක් තිබෙන නිසා අපි ඇඳන් 325 නතර කළත් තවදුරටත් අවශ්‍යතාවය වුවහොත් ඉතුරු ඇඳන් ටික සෑදීම අපේ ඉලක්කය.

මෙම අවස්ථාවට ජල සම්පාදන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංගසමාන්‍යාධීකාරි තිළිණ එස්. විජේතුංග මහතා ඇතුලු උසස් නිළධාරීන් මෙන්ම මෙම වැඩසටහන වෙනුවෙන් මහත් ශ්‍රමයෙන් හා කැපවීමෙන් කටයුතු කල මධ්‍යම යන්ත්‍රාගාරයේ ප්‍රධාන ඉන්ජිනේරු තුමා ඇතුලු සේවක පිරිසද  එක්ව සිටියේය.