සැවොම ආදරයට බෙදාගන්නා සුභ නත්තලක් වේවා!

ජේසු සමිඳානන්ගේ උපත සිහිකරමින් තවත් නත්තලක් උදාවිය. ජේසු සමිඳානන් ස්වර්ගයේ සිට මිනිස් ලොවට පැමිණ මිනිස් පවුලක ඇති දැඩි වීමට කැමති වීමෙන් උන්වහන්සේ අපට හෙළිදරව් කරන්නේ මනුෂ්‍ය ජීවිතයේ අභිරහස්ම ස්වභාවයත් එහි ඇති උත්තරීතර වටිනාකමත්ය.

නත්තල කිතුනු බැතිමතුන්ට පමණක් නොව වෙනත් ආගමිකයින්ද එක්කරගෙන පවත්වන සංස්කෘතික උත්සවයක් ලෙස මුළු ලෝකයම සමරයි. නත්ල නැතහොත් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත යනු ලෝකවාසී සැමට සාමය, සතුට ගෙනෙන ශුද්ධවත් කාලයක් ලෙස කතෝලික බැතිමතුන් විසින් සලකනු ලබනවා. මේ කාර්ය බහුල සමාජ වටපිටාව තුල විකෘති වූ මනුස්සයාව යථා තත්ත්වයට ගන්න දෙවියන්වහන්සේ පෙන්වා දෙන දවස තමයි දෙසැම්බර් 25 කියන්නේ.

දෙවියන් වහන්සේ අපිට විවිධ දේ පෙන්වා දෙනවා විපතට පත් ජනතාව ගැන රෝගි වු සමාජ පරිසරයක් තුල හුස්ම වැටෙන මිනිස්සුන්ට අපූරු පණිවිඩයක් දුන්නා.

අපේ තියෙන අන්ධභාවය, අපේ තියෙන විකෘතිභාවය, අපේ තියෙන ආත්මාර්ථකාමීත්වය නිසා ඒ පණිවිඩය කොහෙන් හෝ සැඟව තිබෙනවා. මේ පරිසරය තුළ අද අපි නත්තල සමරද්දි සොබාදහම, මිනිස්සු සැමදේම වෙනස් වෙලා. මෙදාපාර නත්තල එම අවබෝධයෙන් යථාර්තය තේරුම්ගෙන අපි ඇත්තම නත්තල සමරමු.

සැමට ආදරය බෙදාගන්න දෙවියෝ මනුෂ්‍යත්වයත් එක්ක සමගිය එකමුතුකම බෙදාගත්තා. අන් අයට උදව් කරන්න යමක් දීමට පිනක් තියෙන්න න. තියෙන හැම කෙනාම අනෙකාට දෙන්නේ නැහැ. එකිනෙකාගේ සමගිය ඇති කරගන්න. ප්‍රශ්න එක්ක කම්පා වෙලා අපිට ලැබෙන දෙයක් නැහැ. මනුස්සයා තුළ තියෙන දේවත්වය එළියට ගන්න දැන් දවස උදාවෙලා තියෙනවා. ඒ තමයි එළඹෙන නත්තල.

මුළු වර්ෂය පුරාම මනුසත්බව පතුරවමින් උන්වහන්සේ සිය හදවත තුළ ජීවමානව කටයුතු කළ යුතුයි. සැබෑ නත්තල එක දිනයකට සීමා නොවෙයි මුළු ජීවිත කාලය පුරාම සැමරිය යුතුයි. බෙහෙත් ටික ගන්න මුදල් නැති, ආහාර නැති අය නතරම් අපේ රටේ ජනතාව අතර ඉන්නවා. ඒ අය වෙනුවෙන් දිළිඳු ජනතාවගේ හදගැස්ම වෙනුවෙන් කාලය මිඩංගු කරන්න. ඒ අයට ආදරය දෙන්න, තියෙන දෙයක් බෙදාගන්න.

පුංචියට හරි පැල්පතක බතක් ඉදෙනව නම් ඒක තමයි සැබෑ නත්තල. දුප්පත් දරුවෙකුට තෑගි බෝග දීල සතුටු කරන්න. දුගියෙකුට බත් කටක් දෙන්න, ඇඳුමක් දෙන්න අන්න එතනයි නත්තල තියෙන්නෙ.

කිතු උපත කියන්නේ සතුටක්, ප්‍රීතියක්. ඒත් ඒ ප්‍රීතිය මෙවර අපිට වෙනස් කරගන්න වෙනවා. ඒ වෙනස තුළ අපිට දෙවියන්ගේ වෙනස අත්දකින්න ලැබේවි. සාමයේ කුමරුන්ගේ පණිවුඩය සමාජගත කිරීමට අරුමෝසම් , උත්සව අවශ්‍යය නැහැ. අගහිඟකම් නත්තලට බාධාවක් කර නොගෙන සාමයෙන් පිරි සැබෑ නත්තලක් සමරන්න ලෝකවාසී සියලුම දෙනාට හැකිවේවා යැයි ප්‍රාර්ථනා කරනවා.


වාසුදේව නානායක්කාර
ප්‍රජාතනත්‍රවාදී වාමාංශික පෙරමුණ නායක
ජල සම්පාදන අමාත්‍ය