පානීය ජලය නොමැති ජනතාවට ජලය ලබාදීම වරදක්ද? ඇමතිවාසුදේව උද්ඝෝෂකයන් හමුවේ කියා සිටි.

සෞභාග්‍යය දැක්ම වැඩ පිළිවෙලට අනුව සැමට පානීය ජලය ලබා දීමේ වැඩසටහනට අනුව තලාවිටිය, තුළුමං ළිඳ හා පොම්පාගාරය ඉදි කිරීම " ඇහැළියගොඩ ජල සම්පාදන යෝජනා ක්‍රමය" 2020 දෙසැම්බර් 17වන දින ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරනු ලැබීය.

මෙම ජල සම්පාදන යෝජනා ක්‍රමය මගින් දෛනික පොම්පීකරණ ධාරිතාවය ඝන මීටර් 600ක් වන අතර කොන්ත්‍රාත්තුවේ වටිනාකම රුපියල් 8,621,198කි. මෙම කොන්ත්‍රාත්තුව දින 60කින් නිම කිරීමට බලාපොරොත්තුවේ.

මෙම අවස්ථාවේදී ජල උල්පත පිහිටි තලාපිටිය ප්‍රදේශයේ ජනතාව තම දිය උල්පත මගින් ඇහැළියගොඩ නගරාශ්‍රිත ප්‍රදේශයට ජලය ලබා දීම නිසා තම ප්‍රදේශයට ජලය නොමැතිවේ යැයි සිතා උද්ඝෝෂණයක නිරත විය. එම අවස්ථාවේදී උද්ඝෝෂකයින් සහ පැමිණ සිටි මහජනතාව අමතමින් වාසුදේව නානායක්කාර මැතිතුමා මෙසේ අදහස් ප්‍රකාශ කළේය.

ලංකාවටම වතුර දෙනකොට මම තලාවිටිය අත්හරී ද? මේ මම අවුරුදු 50 ක් නියෝජනය කරපු ප්‍රදේශය. මගේ මුළු ජීවිතේ තුළ අවුරුදු 50 ක් කියන්නේ වැඩි පංගුව මෙහෙ තමයි වැඩ කළේ. ඉතිං ඒ නිසා මේ ප්‍රදේශය ගැන මගේ ඇල්මක් නැතුව කටයුතු කරනවද කියලා මේ සහෝදරවරු කල්පනා කරලා බලන්න. දැන් මේ කරන්න යන්නේ නගරෙට වියලි කාලේ අවශ්‍ය ජලය ලබා දෙන්න. මේක වැරැද්දක් ද? මේක අවශ්‍යයි. මේක අපේ නගරය. ඇහැලියගොඩ නගරය කියන්නේ වෙන පළාතක් නෙමෙයිනේ. අපේ පාසල, අපේ නගරය, අපේ දරුවන් පාසැල් යන නගරය ඉතින් මේකට ප්‍රධානත්වය දීම වරදක් ද? ඉස්සෙල්ලා තලාවිටිය ගමට දීලා ද ඇහැලියගොඩ නගරයට වතුර දෙන්න ඕන? ප්‍රමුඛතාවය මනින්නෙ කොහොමද අපේ ගම උඩ ද නැත්නම් අවශ්‍යතාවය මත ද? අවශ්‍යතාවය නගරයට ජලය දීමයි.

වියළි කාළයේදී නගරයට වතුර දෙන්න ගත්ත හදිසි පියවරක් මේ. මීට අමතරව බිලියන 170 ක් වියදම් කරලා මහා ජල යෝජනා ක්‍රමයක්  ලබන අවුරුද්ද පටන් ගන්නවා. නමුත් ඒක ඉවර කරන්න අවුරුදු එකාමාරක් දෙකක් විතර යනවා. ඒ කියන්නේ 2023 විතර වෙනවා ඒ ජල යෝජනා ක්‍රමය ඉවරවෙනකල් යන වැඩපිළිවෙළ තමයි අද ආරම්භ කරන්නේ. එම යෝජනා ක්‍රමයෙන් පස්සේ  තලාවිටිය හා මේ අවට ඉන්න ජනතාවට මේ ජල යෝජනා ක්‍රමය සම්පූර්ණයෙන් ම අත්පත් කරලා දෙන්න මම කැමැතියි. ඒ නිසා විශ්වාස කරන්න අපි ලංකාවටම ජලය දෙන්න යනවා. ඒ නිසා තලාවිටිය ගම ඒකෙන් මගහැරෙන්නේ නෑ.

ඊළඟට මං කැමතියි කියන්න මේකෙන් කාටවත් කිසිම දෙයක් අහිමි කරන්න නැහැ. ඔබ කියනවා වගේ ඒ කාලේ මෙතන පතලක් දැම්මා එතකොට අපේ ගම් වල ළිංවල ජලය සිඳීගියා. මේ ව්‍යාපෘතිය නිසා එහෙම දෙයක් සිදුවුණොත් මම ඒ දේ නවත්තනව වහාම. මේක මගෙන් ඇහුවා නම් ඉවරයිනේ. මේ පොම්ප කිරීමත් එක්ක මේ අවට ඇති ළිං වල ජලය සිඳී ගියොත් මම මේක නවත්තනව. මම වගකීම භාරගන්නවා ආණ්ඩුවට කියනවා බිලියන 170 ගියා තමයි නමුත් ඒ ප්‍රදේශයේ ජල මට්ටම පහත වැටිලා. ඇත්තටම ජල මට්ටම පහත වැටුණේ බැකෝවලින්, බැකෝ ගහන පතල් වලින්, මම ඒක ගැන නං ආණ්ඩුවට පැමිණිලි කරලා තියෙනවා. මේක ස්වාභාවික උල්පතක් මේ උල්පතින් උතුරා යන ජලය තමයි අපි ගන්නෙ. ඒකත් සීමිතව ගන්නේ. ඔබට අහිමි වෙනවා නම් යමක් මම ඇප වෙනවා ඒ වෙනුවෙන්. ඔබට ජලය අහිමි වෙන්න ඉඩ තියෙනවා නම් මම ඒකට ඇප වෙනවා. ඉතින් ඕක කතා කරගන්නේ නැතුව ලොකු ආරවුල් තත්ත්වයක් ඇති කිරීම අපේ ප්‍රදේශයට අවමානයක්.

මම ලංකාවටම ජල සම්පාදන ඇමැති. මම යනවා ලංකාවේ හැම කොනටම මුල් ගල් තියන්න, ජලය ලබා දෙන්නයි, විවෘත කරන්නයි. මට මෙවැනි තත්ත්වයකට මුහුණ දෙන්න වුණේ මගේම නියෝජනය තියෙන මේ ඇහැලියගොඩ කොට්ඨාසය තුළ. මට පෞද්ගලිකත්වයක් නෑ අවමානයක් වෙන්න හෝ නම්බුවක් වෙන්න මම එහෙම පෞද්ගලිකත්වය මමත්වය එහෙම ලොකුවට අර ගත්තු කෙනෙක් නෙමෙයි. ඔබ මේ ඇහැලියගොඩ ඡන්ද කොට්ඨාශය ලංකාවේම මුදුන ඉන්නේ මේ ජල අමාත්‍යාංශයේ අයිතිය උඩ. ඉතින් ඔබම අද ඒකට ලොකු හානියක් කර ගත්තා

සහෝදරවරුනි සහෝදරියනි මේ ආණ්ඩුව පිළිබඳ විශ්වාසය තියන්න මේ ආණ්ඩුව  කවදාවත් අයහපතක් කරන්නෑ කාටවත්. හැම කුඩා ජන කණ්ඩායමටම තමන්ගේ අයිතිය ලබා දෙන ආණ්ඩුවක්. මම ආණ්ඩුවේ ඇමතිවරයෙක් විතරයි. මම තනියම නෙවෙයි මෙම තීන්දු ගන්නේ. ආණ්ඩුවත් එක්ක ගෝඨාභය මහත්තයත් මහින්ද මහත්තයාත් ඇතුළුව. මාස දෙකකින් අපිට පුළුවන් මේක හදන්න ඒත් මේ ජනතාව වෙනුවෙන්. අපේ නගරය වෙනුවෙන්. ඒ නිසා කවුරුත් අපේ ගමේ වතුර පිට ගෙනියන්න බෑ කියනවා වගේ නගරයේ අයත් කියාවි පිට අයට නගරෙට එන්න බෑ කියලා. ඔහොම පුළුවන්ද රටක් ගෙනියන්න. අපි මේ අර වෙන්වී යන්න හදන උතුර දැන් එකතු කර ගනිමින් ඉන්නවා. උතුර වෙනම රාජ්‍යයක් ඉල්ලුවා එගොල්ලන්ට.  අපි බලය පාවිච්චි කරලා කොටි සංවිධානය ගෙනාපු යුද්ධය පරාජය කළා. ඒගොල්ලන්ගෙ නියෝජිතයෝ තමයි දෙමළ සන්ධානය ඉන්නේ. ඒගොල්ලන්ට අපි බණ කියන වගේ හැමදාම කියනවා මේක එක රටක් හැටියට තියාගෙන යමු වෙනම ප්‍රදේශයක් හැටියට හිතන්නැතුව.  අපි එහෙම කියලා දෙමළ සන්ධානයට ඊළඟට ඇවිල්ලා අපේ නගරෙට වතුර ගන්න හදනකොට ඔන්න පළාත් භේදයක් ඇද ගන්නවා. නෑ ඔබට තියෙනවා සාධාරණ සැකයක් ඒක මට තේරෙනවා. ඒ සැකය ඇත්තක් වුනොත් මම පොරොන්දු වූ දේ එසේම කරනවා. සැමටම පානීය ජලය උතුරා යන ලංකාවක් ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා.

හිටපු පළාත් සභා මන්ත්‍රී නමින්ද අනුරප්‍රිය මහතා, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ උප සභාපති නිමල් රණවක, අමාත්‍යතුමාගේ සම්බන්ධිකරණ ලේකම් ඩි.වි.ඩි. තිලකසිරි, මාධ්‍ය ලේකම් කේ.එච්. සංජීව ධම්මික, මහජන සම්බන්ධිකරණ ලේකම් ඩග්ලි කලන්සුරිය යන මහත්වරු ඇතුලු ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන් පොදු ජනතාව මෙම අවස්ථාවට එක් වූහ.