රට පුරා තිබෙන ප්‍රජා ජල ව්‍යාපෘතීන් ශක්තිමත් කර දුෂ්කර ප්‍රදේශ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීමටත්,තිරසාර සංවර්ධන ඉලක්ක ජයගැනීමටත් කඩිනම් පියවර ගන්නා බව නගර සැලසුම් ජලසම්පාදන හා උසස් අධ්‍යාපන ඇමති රවුෆ් හකීම් මහතා පැවසීය.

ඇමතිවරයා මේ බව පැවසුවේ ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව ශක්තිමත් කර ,දුෂ්කර පළාත්වලට ජල සැපයුම් සේවාව වැඩි දියුණු කිරීමේ අරමුණින් ලෝක බැංකු ආධාරයෙන් ක්ෂේත්‍ර නිලධාරීන්ට යතුරුපැදි ලබා දීමේ උත්සවය බත්තරමුල්ල ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ දී පැවති අවස්ථාවේදීය.

මෙහි දී දිස්ත්‍රික්ක 25ක සේවය කරන ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර නිලධාරීන් 50 දෙනෙකුට යතුරුපැදි නොමිලේ බෙදා දෙන ලදි. යතුරුපැදියක වටිනාකම රුපියල් 2,25000 කි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා, මෙසේ ද කීය.ජාතික ප්‍රජා ජල දෙපාර්තමේන්තුව අප අමාත්‍යාංශයේ හුදකලා ආයතනයක් ලෙස පසුගිය කාලයේ පැවතුණා.මේ ආයතනයේ කල හැකි දේ බොහෝයි.ඒ නිසා අප එය අවබෝධ කර ගනිමින්.ජනතාවට සහන සැලසීමට පියවර කිහිපයක් ගත්තා.කලින් පටන් ගත් බොහෝ ව්‍යාපෘති අතරමඟ නැවතී තිබුණා.අපි එම තත්වය වෙනස් කළා. ප්‍රජා මූල සංවිධාන 6000කට අධික සංඛ්‍යාවක් දිවයින පුරා විසිර තිබෙනවා.ඒවායේ ජල මූලාශ්‍ර සිඳී යාමත් සමඟ අඩපණව තිබූ ව්‍යාපෘති රාශියක් නැවත ක්‍රියාත්මක කළා.2030 දී සැමට පිරිසිදු පානීය ජලය ලබා දීමේ ඉලක්කය ජය ගැනීමේ තවත් පියවරක් ලෙස මෙය හැඳින්විය හැකිය.මේ ඉලක්ක ජයගැනීමට අපගේ ප්‍රාදේශීය කාර්යාලවලට වාහන ලබා දීමට මහා භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කර විසඳුමක් ලබා ගැනීමට ක්‍රියා කරනවා.ප්‍රජා ජල ව්‍යාපෘති පණ ගැන්වීමටත්,ඒවා කාර්යක්ෂම ලෙස කරගෙන යාමටත් ජල සම්පාදන මණ්ඩලය සමඟ බද්ධ කර තාක්ෂණික මට්ටමේ උදව් උපකාර ලබා ගැනීමටත් කටයුතු කළ යුතුයි.නළ ජලය ඍජුව ලබා දීමට නොහැකි දුෂ්කර ගම්වල ජනතාවගේ අපහසුතා හඳුනාගෙන ඔවුන්ට පිරිසිදු පානීය ජල පහසුකම් ලබා දීම අපගේ සුවිශේෂී අරමුණයි.ප්‍රජා මූල සංවිධාන දිරිමත් කර ඔවුන් ශක්තිමත් කිරීමටත් ඔවුන්ගේ අපහසුකම් සඳහා ආධාර ලබා දීමට ලෝක බැංකුව සමඟ සාකච්ඡා කර සහනදායි ණය මුදලක් ලබා දීමට කටයුතු කරනවා එමඟින් ඔවුන්ගේ ආර්ථික අපහසුතාවලට පිළියමක් ලබා දිය හැකියි.තිරසාර සංවර්ධන අරමුණු ජය ගනිමින් ජනගහනයෙන් ලක්ෂ තිස් පහකට අධික පිරිසකට ප්‍රජා මූල ජල ව්‍යාපෘතිවලින් ජලය ලබා දීමට පියවර ගෙන තිබෙනවා.

නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය ඇමති ලකී ජයවර්ධන මහතා.

ප්‍රධාන ව්‍යාපෘති මගින් ජලය ලබා දීමට නොහැකි දුෂ්කර ප්‍රදේශවලට පිරිසිදු පානීය ජලය ලබා දීමේ අරමුණින් ප්‍රජා ජල ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නංවා තිබෙනවා.ඉතා දුෂ්කර පෙදෙස්වල ජනතාව ජලය නොමැතිව දුක් විඳිමින් දුර බැහැර ගොස් ජලය සොයා යෑම අප දැක තිබෙනවා.රජයෙන් ලබා දෙන මුදල්වලට වඩා ගමේ ජන සහභාගීත්වයෙන් මේ ව්‍යාපෘති කරගෙන යෑමටත්,එය ඉතා සාර්ථක වීමටත් ලෝක බැංකුවෙන් ලබා දෙන ආධාර උපකාර ඉතා වැදගත්.

එච්.එම්.බී.හේරත් මහතා-

ජනතාවට සුරක්ෂිත පානීය ජලය සපයා දීමේ තිරසාර ඉලක්ක ජය ගැනීමේ අරමුණින් මේ වන විටත් පවුල් ලක්ෂ හතක තිස් පන් ලක්ෂයක පමණ ජනතාවකට ප්‍රජා මූල ජල ව්‍යාපෘති හරහා ජලය ලබා දීම සිදු කරනවා.මෙයින් සිදුවන්නේ නළ ජලය ලබා දීමේ අපහසු ස්ථානවල සිටින ජනතාවට එම ප්‍රදේශයේම ජල මූලාශ්‍රවලින් පිරිසිදු ජලය ලබා දීමයි.අප මේ වන විට මේ ව්‍යාපෘතිය නැංවීමට උපාධිධාරී ක්ෂේත්‍ර නිලධාරීන් 200ක් පමණ යොදවා තිබෙනවා. ඔවුන්ව දිරිමත් කිරීමට ලබා දෙන තවත් එක් කාරණයක් ලෙස මේ යතුරුපැදි ලබා දීම පෙන්වා දිය හැකියි.සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි මේ ක්ෂේත්‍ර නිලධාරීන් යොදවා තිබෙනවා. සැලසුම් කර තිබූ ව්‍යාපෘති රැසක්ම අප මාස 3ක් ඇතුළත සියයට සීයක්ම අවසන් කර තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.තෞෆික්,නගර සැලසුම් හා ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායා දුන්නේ,අතිරේක ලේකම් ඒ.සී.එම්. නෆීල්,ඇමතිවරයාගේ පෞද්ගලික ලේකම් එම් නයිමුල්ලා,සම්බන්ධීකරණ ලේකම් එහ්මන් මන්සූර්,ලෝක බැංකු ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ එන්. යූ.කේ.රණතුංග මහත්වරු ද,උසස් නිලධාරීහු දමේ අවස්ථාවට එක් වූහ.